දියවැඩියාව පරදවමු (let’s cure diabetes)

Diabetes in sinahala

දියවැඩියාව කියන්නේ ලෝකයේ බහුලම රෝග තත්ත්ව වලින් එකක් කියලා කියන්න පුලුවන්. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය තුල දක්නට ලැබෙන මෙම රෝගී තත්ත්වය, මේ වන විට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වා වයාප්තව පවතිනවා. මෙය කෙටි කාලින වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් බොහෝ සංකූලතා ඇතිකරන අතර ඒ නිසාම නිසි ප්‍රතිකාර වලට යොමුවීම ඉතාම වැදගත් කරුණක් ලෙස සලකිය යුතු වෙනවා.

දියවැඩියාව කියන්නේ ඇත අතීතයේ සිටම අපේ සමාජය තුල පැවති රෝගී තත්ත්වයක් වන අතරම, ආයුර්වේද වෛද්‍යයවේදයේදි මෙය මධුමේහය ලෙසද හඳුන්වයි.


දියවැඩියාව හඳුනාගන්නේ කෙසේද? (How to detect Diabetes)

බොහෝවිය දියවැඩියාව සඳහා අප වෙත රෝගීන් යොමු වන්නේ අධික පිපාසය, මුත්‍රා පහවීම වැඩිවීම වැනි ලක්ෂණ සමගය. එසේ වූවද එවැනි ලක්ෂණ පහල වන විටද රෝගය විසින් ඔබ තුල විව්ධ සංකූලතා ඇති වී තිබෙන්නට පුලුවන්. මන්ද එවැනි රෝග ලක්ෂණ ඇතිවන කාලය වන විට දියවැඩියාව කාලයක් පැවති තිබෙන්නට පුලුවන්. ඉතින් මේ නිසාම අපි වයස 40 පසුවූ පසු වසරකට වරක් පමණ රුධිර පරික්ෂාවක් කර ගැනීමට සමාන්‍යය ජනතාවට උපදෙස් දෙනවා. එමගින් ගැටලුවක් ඇතිවන්නට මත්තෙන් දියවැඩියාව හඳුනාගැනීමට හැකියාවක් ලැබෙනවා. එමගින් මූලික අවස්ථාවේම ප්‍රතිකාර වලට යොමුවීමෙන් සංකූලතා අවම කර ගැනිමේ අවස්තාව රෝගීන්ට ලැබෙනවා.

මීට අමතරව දියවැඩියාව පිළිබඳ සැක කල යුතු අවස්ථා කිහිපයක් තියෙනවා. උදාරණයක් ලෙස දීර්ඝ කාලීනව සුව නොවන තුවාල පවතින අවස්ථා වලදී. අංශභාග, හෘද රෝග වැනි අවස්ථාවලදී දියවැඩියාව සඳහා පරික්ෂා කිරීම සිදු කරනවා.


දියවැඩියාව හඳුනාගැනීම සඳහා සිදුකරන පරික්ෂණ (Investigations for Diabetes )

දියවැඩියාව හඳුනාගැනීම සඳහා භාවිතාකරන ප්‍රධානම පරික්ෂණය වන්නේ නිරාහාර රුධිර පරික්ෂාවයි (Fasting Blood Sugar). මෙය 126 ට වඩා වැඩි අගයක් ගනීනම් දියවැඩියා රෝගී තත්ත්වයක් ලෙස සලකනවා. ඒ අතරම 110සිට 125 දක්වා අනාගත දියවැඩියාව සඳහා අවධානමක් සහිත පුද්ගලයන් ලෙස හඳුනා ගන්නවා. ඔවුන්වත් නිසි පරීක්ෂන වලට යොමුකල යුතු වෙනවා.

දියවැඩියාව හඳුනාගැනීම සඳහා වූ රුධිර පරික්ෂාවන් සඳහා සාමාන්‍යය අගයන්
Adapted from American Diabetes Association. Standards of medical care in diabetes—2012. Diabetes Care. 2012;35(Supp 1):S12, table 2.

මීට අමතරව හදීසි රුධිර පරික්ෂාව, තුන්මස් රුධිර පරික්ෂාව , වැනි රුධිර පරික්ෂණ කිහිපයක් පවතිනවා. අදාල අවස්ථාව අනුව සිදුකරන පරික්ෂාව වෙනස් වෙනවා.

දියවැඩියාව වර්ගීකරණය (Types of Diabetes)

දියවැඩියාව සම්බන්ධ වර්ගීකරණ කිහිපයක් පවතිනවා. එයින් ප්‍රධාන වර්ගීකරණය පහත ආකාරයෙන් වෙනවා

  1.  පළමු ආකාරයේ දියවැඩියාව (Type 1 Diabetes)
  2. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 Diabetes)
  3. ගර්භනීතාවයේදි ඇතිවන දියවැඩියාව (Gestational Diabetes Mellitus) 
  4. වෙනත් ආකාර වල දියවැඩියාව (Other types of diabetes)

1. පළමු ආකරයේ දියවැඩියාව

Type 1 Diabetes බොහෝවිට කුඩා කාලයේ පටන් දකනට ලැබෙන තත්ත්වයක්. මෙම රෝගීන්ගේ අග්න්‍යාශයේ පවතින ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛල විනාශ වීම නිසා, ශරීරයෙන් නිෂ්පාදනය වන ඉන්සියුලීන් ප්‍රමාණය ඉතා අඩුයි. මෙම හේතුව නිසා, ඔවුන් Insulin dependent Diabetes රෝගීන් ලෙස හඳුන්වනවා. මෙම රෝගීන්ට අනිවාර්යෙන් පිටතින් ඉන්සිලුයින් (Insulin)ලබාගැනීම අවශ්‍යය වෙනවා.

2. දෙවන ආකාරයේ දියවැඩියාව

බොහෝ වැඩිහිටියන් අතර දක්නට ලැබෙන දියවැඩියා රෝගී තත්ත්වය දෙවන ආකාරයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා. මෙහිදි බොහෝවිට අවශ්‍යය තරම් ඉන්සියුලීන් නිෂ්පාදනය වූවත් ඒවාට ශරිරය ප්‍රතිචාර දැකීමක් සිදු වන්නේ නැ (Insulin Resistance Diabetes). ඒ නිසාම මේ සඳහා ඉන්සියුලීන් ලබා ගැනීමට වඩා වැදගත් වන්නේ වෙනත් ප්‍රතිකාර ක්‍රමයි. උදාහරණයක් ලෙස ව්‍යායාම, ආහාර පාලනය, ඉන්සියුලීන් සංවීදිබව වැඩි කරනු ලබන ඖෂධ වර්ග වගේ දේවල් මේ සඳහා පාවිච්චි කරනවා.

ඒ සමගම සමහර රෝගීන්ට ඉන්සියුලීන් ලබා දීමත් සිදුවෙනවා.

3. ගර්භනීතාවයේදී ඇතිවන දියවැඩියාව

සමහර ගර්භණී මවුවරුන්ට ඇතිවන දියවැඩියාව Gestational Diabetes Mellitus ලෙස හඳුන්වනවා. මෙය බොහෝවිට මළදරු උපත්, ගබ්සාවීම්, ශරීර ප්‍රමාණයෙන් විශාල දරුවන් ඇතිවීම වැනි තත්ත්ව බොහොමයකට හේතුවෙන්න පුලුවන්.

4. වෙනත් ආකරයේ දියවැඩියාව

ඉහත සඳහන් කල ආකාර වලට අමතරව පවතින් අදියවැඩියා ආකාර සියල්ල මෙම කොටසට අයත් වෙනවා.

දියවැඩියාව සඳහා හේතු මොනවාද?

දියවැඩියාව සඳහා බොහෝ හේතු පවතින නමුත් ඒවා එක් එක් ආකාරය අනුව වෙනස් විය හැකියි. කෙසේ වුවත් පොදුවේ ගතහොත් පහත කරුණු මේ සඳහා බලපානවා.

1. අක්‍රමවත් ආහාර රටාව
2. අඩු ව්‍යායාම
3. මානසික ආතතිය
4. ජානමය හේතු
5. සමහර ඖෂධ

දියවැඩියාව වලක්වා ගන්නේ කොහොමද?

දියවැඩියාව කියන්නේ බොහෝවිට පාලනය කරගන්න පුලුවන් ලෙඩක් මිසක් හොද කරන්න බැරි ලෙඩක් කියලා සමාජයේ ඇතිවුන මතයක් තියෙනවා. නමුත් අද වෙද්දි නිසි ප්‍රතිකාර ක්‍රම එක්ක නිසි ව්‍යායාම , ආහාර රටා හඳුන්වාදීම මගින් ප්‍රතිකාර රහිතව දියවැඩියාව පාලනය කරගන්නටත් එයින් මිදෙන්නටත් ක්‍රමවේද හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසාම බොහෝවිට ඔබ දියවැඩියාව සඳහා ප්‍රතිකාර සඳහා යොමුවෙන අතරම ඖෂධ නොවන ප්‍රතිකර වන දෛනික ව්‍යායාම, ආහාර පාලනය, නිසි ජීවන රටා වලට යොමුවෙන්න. එමගින් ඉතා ඉක්මනින් ඔබට දියවැඩියාවෙන් මිදෙන්න හැකියාව තියෙනවා.

දියවැඩියාවට යොදාගන්නා ප්‍රතිකාර

මේ සඳහ භාවිතාකරන ප්‍රතිකාර ක්‍රම රාශියක් පවතිනවා. ඒ අතර නිතර කියවෙන ඖෂධයක් තමයි මෙත්ෆෝර්මින්. ඊට අමතරව ග්ලිකසයිඩ්, ග්ලිබෙන්ච්ලමයිඩ්, ටොල්බියුටමයිඩ් වගේ බොහෝ ඖෂධ ප්‍රතිකාර යොදාගන්නවා. ඊට අමතරව ඉන්සියුලීන් කියන්නේ තවත් විශේෂ ප්‍රතිකාරයක්.

අපි කතා කරපු විදියට දියවැඩියාව කියන්නේ බොහෝම සංකූලතා ඇතිවෙන්න පුලුවන් ඒත් ඉතා ලේසියෙන් පාලනය කරන්න පුලුවන් රෝගී තත්ත්වයක්. ඒ නිසාම මේ රෝගී තත්ත්වය පිළිබද රෝගී , නිරෝගී ඔබ සැමගේ අවදානය යොමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *