ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකවීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලු වලින් පුරවන්න පුලුවන් විදියේ අමතකවීමක් කීවොත් නිවැරදී. ඉතින් මේ නිසාම මේක අමතකවීමේ රෝගය (memory disorder) කියලත් සමහරු හඳුන්වනවා.
පොදු ජන වහරින් පිස්සු හැදීමක් එහෙමත් නැත්නම් Delusional disorders කියලා හඳුන්වන විදියට හැදින්වෙන තවත් එක රෝගයක් තමයි ඩිමෙන්ෂියාව. ඒ එක්කම ඩිමෙන්ශියාව කියන්නේ සුව කරන්නට අමාරු රෝගී තත්තයක් කීවොත් නිවැරදියි. මෙය භේදයක් නැතිව ඕනම කෙනෙක්ට හැදෙන්න පුළුවන් රෝගයක් වගේම රොගියාට විතරක් නැතිව සමීපතමයන්ටත් හිසරදයක් (headache) වෙන රෝගයක් වෙන්න පුලුවන්. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර බහුල රෝගයක්.
ඩිමෙන්ෂියාව යනු කුමක්ද ? (What is dementia)
ඩිමෙන්ෂියාව යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් එහෙමත් නැත්නම් සහ ලක්ෂණයක් (Syndrome) කියන්න පුලුවන්. මතකය (Memory), හේතු දැක්වීම (Reasoning) සහ සිතීමේ හැකියාව (Thinking ability) අහිමිවීම වැනි තත්ත්ව එයට අයත් වෙනවා. ඩිමෙන්ෂියාව සඳහා ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) ප්‍රධාන වශයෙන් හේතුවක් වෙනවා.
ඩිමෙන්ෂියාවේ රෝග ලක්ෂණ (Symptoms of dementia)
ඩිමෙන්ෂියාව හටගන්නේ මොලයේ තියෙන ස්නායු සෛල වලට හානි වීමෙන් නිසා මතකය නැති වීම, සන්නිවේදන ගැටලු, කාලය සහ ස්ථාන පිළිබඳ අනවබෝධය, එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ අපහසුතා, හැසිරීමේ වෙනස්කම්, එකම දේ නැවත නැවත සිදු කිරීම වගේ ලක්ෂණ පෙන්වන්න පුළුවන්.
ඒ වගේම පවුලේ සාමාජිකයන් පවා අඳුර ගන්න බැරි වෙන්න, ඉන්න තැනක් පවා අමතක වෙන්න පුළුවන්. කතාබහ කරන දේවල් වෙන කිසිම අර්ථයක් නැති වෙන්න පුළුවන්. රෝගය උත්සන්න අවස්ථා වලදී සැබෑ ලෝකයේ නැති දේවල් මැවී පේන්න පවා පුළුවන්. සැබෑ ලෝකයේ නැති ශබ්ද ඇසීමට පවා පටන් ගන්නවා.
ඩිමෙන්ෂියාව හැදෙන්නේ ඇයි? (Causes for dementia)
ප්‍රධානම හේතුව ඇල්සයිමර් රෝගය (alzheimer’s disease). ඊට අමතරව පාකින්සන් රෝගය (parkinson’s disease), දරුණු හිසේ තුවාල, පවුලේ ඉතිහාසය වගේ හේතු ඩිමෙන්ෂියාවට අතවනනවා. මොලයේ ආබාධ, මත්ද්‍රව්‍ය වගේම ඖෂධ අපහරණයත් මෙම රෝගයට හේතු වෙන්න පුළුවන්.
ඩිමෙන්ෂියා හටගන්නේ කාටද? (Who is at risk for dementia)
එහෙම විශේෂයෙන් හඳුන්වන්න අපහසු රෝගයක් ඩිමෙන්සියාව කියන්නේ. අවුරුදු 65 ට වගේ ඉහල වයසකදී ඔබට මට වගේ ඕනෙම කෙනෙකුට සෑදීමේ අවදානම තියෙනවා. වැඩිහිටියන් අතර බහුල උනත් ඔනැම වයස් කාණ්ඩයකට හැදෙන්න පුලුවන් අසනීපයක් විදියට ඩිමෙන්ශියාව හඳුන්වන්න පුලුවන්.
ඩිමෙශියාව සම්බන්ධ සංඛ්‍යාලේඛන
60%-80%ත් අතර ප්‍රමාණයක් ඩිමෙන්ෂියා රෝගීන් සඳහා ඇල්සයිමර් රෝගය හේතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මරණ වලට බලපාන ප්‍රධාන හේතු අතරින් හතරවෙනි ස්ථානය අයිති වෙන්නේ ඩිමෙන්ෂියා රෝගයට. ඒ ප්‍රමාණය සමස්ත මරණවලින් 6.22% ක් විතර වෙනවා. 2050 වන විට රෝගීන් ගණන තුන් ගුණයකින් ඉහළ යන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කරනවා.
ඩිමෙන්ෂියාව සාමාන්‍යයෙන් හටගන්නේ අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට. සුළු වශයෙන් අවුරුදු 40,50 වගේ වයස්වලදී හටගන්න පුළුවන්. මුලදීම ප්‍රතිකාරවලට යොමු වුණොත් රෝගය උත්සන්න වීම ප්‍රමාද කරන්න පුළුවන් වුණත් සම්පූර්ණයෙන් සුව කරන්න නොහැකියි.
ඩිමෙන්ෂියාව සඳහා ප්‍රතිකාර
Dementia නිට්ටාවටම සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැතත් නිසි ක්‍රමවේද මගින් රෝගය පාලනය කරගෙන රෝගියා ගැටලු කාරී තත්ත්වයකට ගමන් කිරීම නවත්වගන්න පුලුවන්.
බොහෝවිට රෝග තත්ත්වය පාලනය කරගන්න භාවිතවන ප්‍රතිකාර අතර ප්‍රධාන වන්නේ ඇල්සයිමස් රෝගයට (Alzheimer’s disease) අදාල ප්‍රතිකාර. ඒ එක්කම රෝගියාගේ මනසට අදාල ප්‍රතිකාර අවශයය වෙන්න පුලුවන්.
සමහර අවස්ථාවල හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරගත කොලෙස්ට්‍රෝල් අධිකවීම, වකුගඩු රෝග වගේ දේවල් නිසා මේ රෝගයේ ලක්ෂණ වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමඟ ම ඒවාට ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා. ඖෂධවලට අමතරව CST වගේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරලා රෝග ලක්ෂණ අවම කර ගැනීමේ හැකියාව තියෙනවා.
Referance
- ICU – 10 https://icd.who.int/browse10/2019/en#/F00-F09
- National Institute of Aging : https://www.nia.nih.gov/health/what-is-dementia
Author
Written by Damith Nadishan Vithanage (Medical student)
Medically review by Dr Sanjaya U Jayasooriya (Main author and editor)