දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා (Febrile Fits)

Febrile fit උණ වලිප්පුව

ඔබ කෙදිනක හෝ යම් කෙනෙක්ගේ දරදඩු බවත් සමග ඇතිවන අසාමන්‍යය මාංශපේෂි වලනයක් දැක ඇත්නම්, එය කොතරම් ඔබ තුළ මානසික ව්‍යාකූල බවක් ඇති කරන්නට සමත්ද යන්න තේරුම් ගන්න පුලුවන්. ඉතින් දරුවන්ගේ ඇතිවන වලිප්පු තත්ත්වයක් දෙමාපියන් අතර කොතරම් ව්‍යාකූල බවක් ඇති කිරීමට සමත්ද යන්න ඔබට වැටහෙනවා ඇත.

කොහොම උනත් උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ෆිට්එක (‍fit /seizure )  නමින් හදුන්වන තත්වය කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුලුවන්. මෙය ඉතාම බහුලව දක්නට ලැබෙන්නේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර දරුවන් අතරයි.

 

උණ වලිප්පුව කියන්නේ මොකක්ද?

උණ වලිප්පුව – febrile fit කියන්නේ කුඩා දරුවන් හට ඇතිවන අසාමාන්‍යය සහ පාලනයකින් තොරව සිදුවන චලනයන් සමූහයක් (වලිප්පුව තත්ත්වයක්) විදියට සරලව හඳුන්වාදෙන්න පුලුවන්. මෙහි විශේෂත්වය වන්නේ, එය බොහෝවිට වෛරස් උණ(Viral fever) තත්ත්වයක් සමඟ ඇති වීමයි. මෙම තත්ත්වය කොතරම් කුඩා දරුවන් අතර පොදු රෝගී තත්ත්වයක්ද කියනවානම් දරුවන්ගෙන් 3%කට කෙදිනක හෝ මෙම තත්ත්වය ඇතිවෙලා තියෙන්න පුලුවන්. සමහර දරුවන්ට මෙය ජීවිතේටම එක පාරක් හෝ දෙපාරක් හැදුනත් ඉතා කුඩා ප්‍රතිශතයකට මෙය නැවත නැවත ඇතිවීමේ අවදානමක් තියෙනවා.


උණ වලිප්පුව නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

වලිප්පු තත්ත්වයක් කීවාම බොහෝවිට ශරීරයේ ඇතිවෙන අසාමන්‍යය දරදඩු වීමක් දකින්න පුලුවන්. ඒ සමගම අතපය , හිස වගේ කොටස්වල අසාමාන්‍යය චලනයක් ඇතිවෙන්න පුලුවන්. මීට අමතරව ‍ෆිට් එකක් සමානය තත්වයකින් වෙන්කර ගන්න තියෙන වැදගත් රෝගලක්ෂණ කිහිපයක් තමයි, මුඛයෙන් ශ්‍රාවයක් වැගිරීම, දිව හැපී තිබීම, මුත්‍රා පහවීම වගේ දේවල්.

සාමාන්‍යයෙන් අපස්මාර තත්ත්වයකදි උණක් ඇතිවීම අනිවාර්යය නොවුනත් උණ වලිප්පු තත්වයකදි අනිවාර්යෙන්ම තද උණකට පසුව මෙම තත්ත්වය ඇතිවෙනවා.

 

අපස්මාරය හා උණ වලිප්පුව අතර සම්බන්දයක් ඇත්ද..?

දරුවන්ගේ ඇතිවෙන මේ වගේ අසාමන්‍යය ගැස්මක් කියන්නේ මවුපියන් බොහෝ අසරණ වන සහ වේදනාවට පත්වන අවස්ථාවක්. මොකද කීවොත් ඔවුන් බොහෝදෙනෙක් උණ වලිප්පු තත්ත්වය, අපස්මාරය තත්ත්වයක් ලෙස වැරදියට හඳුනාගන්න නිසා.

 

ඇත්තෙන්ම කීවොත් උණ ‍ෆිට් එකක් සහ අපස්මාර තත්ත්වයක් කියන දෙක වෙන් කර ගත යුත්තේ පළපුරුදු වෛද්‍යයවරයෙක් විසින්. මෙහිදි ‍ෆිට් එක ඇතිවන විට උණ තිබුනාද නැද්ද කියන කරුණ, ‍ෆිට් එක පැවති කාල පරසය, නැවටහ් නැවත නැවත ‍ෆිට් ඇතිවූවාද කියන කාරණය වගේ බොහෝ දේවල් සලකා බලනවා. ඒ එක්කම අවශ්‍යය දරුවන් පරික්ෂණ වලට යොමු කිරීම සිදු කරනවා.

අපි කලින් කීවා වගේ උණ වලිප්පුව කියන්නේ දරුවන් අතර ඉතාම පොදු රෝග තත්ත්වයක්. නමුත් දරුවෙක්ට යම් දිනකදී උණ වලිප්පු තත්ත්වයක් ඇති වූ පමණින් එය නැවත නැවත ඇතිවන බවක් කියන්න බැ. බොහෝවිට එය උපරිම වශයෙන් එක අවස්ථාවක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අවස්ථා දෙකක් හෝ තුනක් වෙන්න පුලුවන්. කොහොම වුනත් දරුවන් වැඩෙනවත් එක්කම උණ වලීප්පුව ඇතිවීම සම්පූර්ණයෙන් නැති වී යනවා.

නමුත් අපස්මාරය කියන්නේ මීට වෙනස් තත්වයක්. එහිදී එය දීර්ඝ කාලීනව පවතින්න පුලුවන්. කොහොම උනත් උණ වලිප්පු තත්ත්වයක් අනාගතයේදි අපස්මාර තත්ත්වයකට පත්වීමේ හැකියාවක් නැ.


උණ වලිප්පුව සඳහා දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මොනවාද?

අපි කිව්ව විදියට උණ වලිප්පුව කියන්නේ හානිදායක තත්ත්වයක් නෙවේ. නමුත් එය වෙනත් අපස්මාරය (Epilepsy) වැනි රෝග තත්ත්ව වලින් වෙන්කර ගැනීම වැදගත් වෙනවා. ඒ නිසාම ඔබට වෛද්‍යයවරයෙකුගේ සහය අනිවාර්යෙන් අවශ්‍යය වෙනවා. විශේෂයෙන් ‍ෆිට් එකක් ඇතිවුන මුල්ම අවස්ථාවේදී එය පිලිබඳ පරික්ෂණ පැවැත්වීම අනිවාර්යය අංගයක්.

ඒ එක්කම උණක් ඇතිවූ විට එය ඉතා ඉහළ යාමට නොදී පාලනය කර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. මොකද කීවොත් උණ වැඩිවෙන්න වැඩිවෙන්න උණ වලිප්පුව ඇතිවීමේ හැකියාව වැඩිවෙන්න පුලුවන්. ඒ නිසාම අපි විවිධ ක්‍රම මගින් උණ පාලනය කරනවා. ඒ අතර පැරසිටමොල් (Paracetamol) නියමිත මාත්‍රාවක් ලබාදීම, තෙත් මාත්තු කිරීම වගේ දේවල් සලකන්න පුලුවන්. ඒ එක්කම අසනීප තත්ත්වයට ඉක්මනින් ප්‍රතිකාර ලබගැනීමත් වැදගත්.

කොහොම උනත් උණ පාලනය කරන ක්‍රම ගැන විවිධ පුද්ගලයන් අතර තියෙන්නේ විවිධ අදහස්. උදාහරණයක් විදියට ඔබ කවුරුහරි වෛද්‍යවරයෙක්ගෙන් තෙත මාත්තු කලාට කමක් නැද්ද කියලා ඇහුවොත් කමක් නැ කියන්න පුලුවන්. නමුත් වෙනත් වෛද්‍යයවරයෙක් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ මතයක් දරන්න පුලුවන්. 

ඒ එක්කම සමහර මවුවරු උණ පාලනය කරන්න පැරසිටමොල් ඇරෙන්න වෙනත් ඖෂධ භාවිතා කරනවා දැකලා තිබ්බත්, වෛද්‍යය නිර්දේශයකින් තොරව භාවිතා කරන එක හොද දෙයක් නෙවන බව සඳහන් කරන්න ඕනා.

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *