මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු.

මෙනින්ජයිටිස් meningitis in sinhala

මෙනින්ජයිටිස් (Meningitis) එහෙමත් නැත්නම් ,අපි මොළේ උණ, ආවෘතිදාහය කියලා හඳුන්වන තත්වය බොහෝ රෝගීන් ඇහුන ගමන් බියට පත්වෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. 

 

එයට හේතුව තමයි අතීතයේ මේ නිසා ඇතිවූ ඉහල මරණ සංඛයාව. නමුත් මේ වෙද්දි මොලේ උණ කියන්නේ අප්‍රිකානු මහද්වීපය වගේ ප්‍රදේශවල සුලභ වුනත් ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවන රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ‍ Meningitis ශ්‍රී ලංකාවේ සියලු මරණ වලින් 0.44% ක් පමණ වෙනවා. ඒ වගේම මේ වෙද්දි මෙනින්ජයිටිස් නිසා ඇතිවන මරණ රෝගීන් ලක්ෂයකට 2.5 ක් පමණ වෙනවා.ඒ අනුව මෙම රෝගයෙන් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ලෝකයෙන් හැට තුන් වන ස්ථානය. 

මෙයට හේතු බොහොමයක් පැවතුනත් ප්‍රධානම කාරණය වෙන්නේ එන්නත්කරණය. ඒ එක්කම ශ්‍රි ලංකාව තුළ පවතින උසස් සෞඛ්‍ය සේවය මෙයට අනෙක් හේතුව වෙනවා.

කොහොම උනත් ප්‍රතිකාර නොකළහොත් බරපතළ තත්ත්වයක් පවා හටගත හැකි රෝගයක් ලෙස මෙනින්ජටිස් හඳුන්වන්න පුලුවන්. ඒ එක්කම මෙය ඕනෑම වයසක අයෙකුට ආසාදනය විය හැකි වුවත් සුලභව දක්නට ලැබෙන්නේ ළදරුවන්, කුඩා දරුවන්, යෞවනයින් සහ තරුණ වැඩිහිටියන් අතර. 

ඒ එක්කම රෝගයේ බරපතල අවස්ථාවලට මුහුන දීමට සිදු වූවොත්, දීර්ඝ කාලීන ස්නායු ආබාධ වලට පවා මුහුන දෙන්න සිද්ධ වෙන්න පුලුවන් නිසාම මොළ් උණ ගැන සමාජය තුල වැඩි අවදානයක් තියනවා වෙන්න පුලුවන්.

මෙනින්ජයිටිස් යනු කුමක්ද? (What is meningitis)

මෙනින්ජයිටිස් යනු මොළය (Brain) සහ සුෂුම්නාව (Spinal cord) වටකරන ආරක්ෂක පටලවල හෙවත් මෙනින්ජි පටල වල සිදුවන ප්‍රදාහක තත්ත්වයක් (inflammatory condition). මෙනින්ජයිටිස් කියන්නේ බොහෝවිට අසාදන තත්ත්වයක් (infectious disease) වූවත් ඒ ඇරෙන්නට බොහෝ හේතු තියෙන්න පුලුවන්.

process of meningitis in sinhala

මෙනින්ජයිටිස් සඳහා හේතුකාරක

  1. බැක්ටීරියා (Bacteria)
  2. වෛරස (virus)
  3. දිලීර (Fungus)
  4. ක්ෂයරෝගය (Tuberculosis)
  5. ඖෂධ (Medications)
  6. පිළිකා තත්ත්ව (Cancers)
  7. සමහර රෝග තත්ත්ව (Some systemic illness like SLE)

මෙනින්ජයිටිස් රෝගයේ ලක්ෂණ (Symptoms of Meningitis)

මොළයේ උණ තතත්වය සමහර අවස්ථාවලදී පැහැදිලිව අනෙක් රෝග වලින් වෙන්කර ගත හැකි වූවද, බොහෝවිට එය හඳුනාගත හැක්කේ ඉතා හොද සායනික අත්දැකීම් තිබෙන වෛද්‍යයවරයෙක්ට පමණයි. කෙසේ වූවත් පහත රෝග ලක්ෂණ මගින් මෙනින්ජයිටිස් රෝගය සඳහා ඉගියක් ලබාදෙනවා.

●අධික ශරීර උෂ්ණත්වය හෙවත් උණ (High fever)
●හිසරදය (Severe headache)
●ඉවත් නොවන කුෂ්ඨ (Rash)
●දරදඬු ගෙල ප්‍රදේශය (Neck stiffness)
●තියුණු ආලෝකයට ඇති අකමැත්ත (Photophobia)
●අප්‍රාණික බව (Weakness)
●ප්‍රතිචාර නොදැක්වීම (Reduced responsiveness)

ළදරුවන් මෙනින්ජයිටිස් වලට ගොදුරු වූ විට ඇතිවන ලක්ෂණ

පෙර සඳහන් කළා සේ ම මෙය අඩු වයසින් යුතු අය තුළ බහුල බැවින් ළදරුවන් තුළ මෙය නිතර දක්නට ලැබෙනවා. නමුත් වැඩිහිටියන්ට මෙන් දරුවන් තුළ මෙම තත්ත්වය ඉතා පැහැදිලිව හඳුනාගැනීම අපහසු වෙන්න පුලුවන්.

 

ළදරුවන්ට මෙම රෝගය වැළඳුන පසු ආහාර සහ මව්කිරි ප්‍රතික්ෂේප කිරීම, ඉතා අපහසුවෙන් සිටීම, ඉතා තියුණු හඬින් හැඬීම, ප්‍රතිචාර නොදක්වන ගතිය, හිස් මුදුනේ සියුම් ඉදිමීම් වැනි ලක්ෂණ දකින්නට ලැබෙන්න පුලුවන්.

 

බොහෝවිට මේවා එකක් හෝ කිහිපයක් පමණක් ඇතිවිය හැකි අතර වැදගත්ම කරුණ වන්නේ වෛද්‍යය වරයෙකු විසින් පරික්ෂා කිරීමයි. විශේෂයෙන් එමගින් මෙම රෝගය වෙනත් රෝග සමග වරදවා වටහා ගැනීම අවම වෙනවා. උදාහරණයක් ලෙස සමහර බැක්ටීරියාමය මෙනින්ජයිටිස් තත්වයකදි උණ සමග ඇතිවන ‍ෆිට් එකක් ඇතිවෙන්න පුලුවන්. සමහර මවුවරු එය උණ ‍ෆිට් එක ලෙස වරදවා වටහාගෙන ප්‍රතිකාර වලට යොමුකිරීම ප්‍රමාද කරන්න පුලුවන්. ඒ එක්කම තමයි වැඩිහිටියන්ගේ උනත් මෙනින්ජයිටිස් උග්‍ර අවස්ථාවක වලිප්පුවකට සමාන තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන්. 

Meningitis රෝගය ව්‍යාප්ත වන්නේ කෙසේද?

අප කලින් සඳහන් කල ආකාරයට මෙන්ජයිටිස් බෝ වන සහ නොවන ලෙස වෙන් කරන්න පුලුවන්. මෙසේ බෝ වන meningitis වලට හේතුවන්නේ බොහෝවිට බැක්ටීරියාවක් එහෙමත් නැත්නම් වෛරයක්. ඒ වගේම කලාතුරකින් දිලීරයක් හෝ ඒක සෛලික සතෙක් හේතුවෙන්න පුලුවන්.

ඒ එක්කම වෛරස මෙනින්ජයිටිස් (Viral meningitis) වලට සාපේක්ෂව බැක්ටීරියා මෙනින්ජයිටිස් (Bacterial meningitis) දුලභ වුවද වෛරස මෙනින්ජයිටිස් වලට වඩා දරුණු රෝග ලක්ෂණ සහ සංකූලතා පෙන්නනවා කියනන් පුලුවන්. මෙම ආසාදන තත්ත්වය කිවිසුම්, කැස්ස සහ සිප ගැනීම් මගින් ව්‍යාප්ත වීමට අවස්ථාව පවතිනවා. සෘජුව රෝගියෙකුගෙන් තවත් අයකුට ආසාදනය වීම ඉතාම දුලබ තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.

Meningitis වල දිගු කාලීන ගැටලු

●සම්පූර්ණ හෝ මද වශයෙන් ශ්‍රවණය අහිමිවීම හෝ දෘෂ්ටිය අහිමිවීම
●මතකය සහ සමායෝජනය ගැටලු
●සමතුලිතතාවය සහ චලනයන්ගේ ගැටලු

මෙනින්ජයිටිස් සඳහා කරනු ලබන ප්‍රතිකාර

Meningitis කියන්නේ ඉතාම බරපතල නමුත් සුව කරගන්න පුලුවන් රෝගී තත්ත්වයක්. ඒත් නිසි වෙලාවට ප්‍රතිකර නොලැබුනොත් විවිධ දීර්ඝකාලීන සංකූලතා ඇති වෙන්න පුලුවන් වගේම මරණය පවා ඇතිවෙන්න පුලුවන්. ඒ නිසාම ක්‍රමාණුකුල ප්‍රතිකාර අවශ්‍යය වෙනවා. 

බොහෝවිට ප්‍රතිකාර තීරණය වන්නේ මෙනින්ජයිටිස් සඳහා හේතුවන රෝග කාරකය මත. උදාහරණයක් විදියට එය බැක්ටීරියා, වෛරස, ක්ෂය රෝගයට අදාල ක්ෂුද්‍රජීවින් මගින් ඇතිවෙන්න පුලුවන්. ඒ එක්කම තමයි බැක්ටීරියා මෙනින්ජයිටිස් (Bacterial meningitis) තත්තවයකදී ඒ ඒ බැක්ටීරියාව අනුවත් සමහර ප්‍රතිකාර වෙනස් කරන්න වෙනවා. මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට ඇතිවන මොලේ උණ තත්ත්ව වලදි දකින්නට පුලුවන්.

මෙනින්ජයිටිස් රෝගයේ ආකාර

TB මෙනින්ජයිටිස්

TB meningitis in Sinhala

TB මෙනින්ජයටිස් හෙවත් tuberculous meningitis යනු මෙනින්ජයිටිස් ආකාරයක් වන අතර මෙය හට ගන්නේ Mycobacterium tuberculosis නම් විශේෂිත වූ බැක්ටීරියාව ආසාදනය වීමෙන්. මෙය ක්ෂය රෝගය සඳහා බලපානු ලබන බැක්ටීරියාවයි. මෙහිදී මෙනින්ජි පටලවල ඉදිමුමක් දක්නට ලැබෙනවා. එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මෙහිදී රෝගීන්ගෙන් 95% ක් පමණ බේරාගත හැකි වුවත් රෝගය සුව නොවුණහොත් සදාකාලිකව ආබාධිත හෝ මරණයට පවා ලක්විය හැකියි.

Bacterial මෙනින්ජයිටිස්

මෙම තත්ත්වය සඳහා බලපන්නේ බැක්ටීරියා ආසාදනයක්. බොහෝවිට ස්වසන මාර්ගය හෝ ආහාර මාර්ගය හරහා ශරීරයට ඇතුලුවන බැක්ටීරියා රුධිර මාර්ගය හරහා මොලයට සහ සුෂුම්නා තරලයට ගමන් කිරීම තුලින් ආසාදනය ඇතිවේ. මේ සඳහා බලපාන බැක්ටීරියා වර්ග බොහොමයක් පැවතියත් ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ Pneumococcous, Meningococcous  බැක්ටීරියාවන්ය.

මෙනින්ජයිටිස් ව්‍යාප්තිය වළක්වා ගන්නේ කෙසේද?

මෙනින්ජයිටිස් රෝගියෙකුගෙන් ම තවත් අයකුට බෝ වීමේ හැකියාව ඉතා අඩු වුවත් එකම නිවසේ වෙසෙන අය, එකම ස්ථානය බෙදා හදාගෙන භාවිතා කරන අය, පෙම්වතුන්, එකම ශාලාව තුළගෙන ගන්නා සිසුන් අතර මෙය ව්‍යාප්ත වීමට අවදානමක් පවතිනවා.

 

ඒ සමගම වැදගත්ම කාරණක් වන්නේ නිසි වයසේදී නිසි එන්නත් ලබා ගැනීමයි. මෙසේ එන්නත් කිරීම මගින් බොහෝ මෙනින්ජයිටිස් ආකාර අවම කර ගන්නට හැකිවෙලා තියෙනවා.

මෙනින්ජයිටිස් සඳහා ඇති එන්නත් (Vaccines for Meningitis)

  • Meningitis B
  • 6 in 1
  • Pneumococcal
  • MMR
  • Meningitis ACWY
  • Hib/MenC

Author details

The article was originally written by Damith Nadishan Vithanage a Medical student. It was published after medically reviewed by Dr Sanjaya U Jayasooriya (Main author and editor).

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *